Edit Content

Product Categories

අද අපි කතා කරන්න යන්නෙ ශ්‍රී ලංකාවේ අපි  කවුරුත් දන්න පැලෑටියක් ගැන. ඒ තමයි අක්කපාන. පුංචි පැලෑටියක් උනත් අක්කපාන කියන්නේ ආයුර්වේදයේදි ඖෂධයක් ලෙස භාවිතා කරන ඉතා වැදගත් ශාකයක්. එමෙන්ම අතීතයේ පටන් මිනිසා එදිනෙදා ජීවිතයේ දි සිදුවන රෝග වලට අත් බෙහෙතක් ලෙසද අක්කපාන ශාකය භාවිතා කරල තියෙනවා. මෙම ශාකය ඉතා හොඳ සෞඛ්‍යසම්පන්න දිවිපෙවෙතක් සදහා වැදගත් වන ප්‍රතිලාභ රාශියක් ලබාදෙන  ශාකයක්.

අක්කපාන (Akkapana) වල විද්‍යාත්මක නාමය   Kalanchoe pinnata වන අතර එහි නිජබිම වෙන්නේ මැඩගස්කරය. අක්කපාන හී ඉංග්‍රීසි නාමය Cathedral Bells නම් වේ. Kalanchoe ගණයට අයත් ශාක 125 ක් පමණ පවතින අතර අක්කපාන යනුද මේ ගණයට අයත් ශාකයකි. අක්කපාන ආසියාතික රටවල්, ඔස්ට්‍රේලියාව, දකුණු ඉන්දියාව, හවායි දූපත්,  නවසීලන්තය හා ලෝකයේ බොහෝමයක් රටවල වල ඉතා හොඳින් වර්ධනය වේ.

නිවර්තන හා උප නිවර්තන කලාපීය රටවල ඉතා හොඳින් වැඩෙන මෙම ශාකය මාංසලමය පත්‍ර දරයි. ඒවා ඝන, මාංසමය, ඉලිප්සාකාර හැඩයක් දරන අතර දත් වැනි මායිමක් දරයි. මෙම මාංසල පත්‍ර ජලය ගබඬා කර ගනිමින් ඉඩෝර කාලවල් වලදී පවා නොනැසී පැවතීමට අනුවර්තන දරයි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල වැවෙන ශාකයක් තමයි මේ අක්කපාන (Akkapana) කියන්නේ. ගල්තලා මත වුවද පහසුවෙන් වර්ධනය වීමට අක්කපාන වලට හැකියාව ඇත.


ළපටි කාලයේ දී කඳේ, කොළ වල නටු හා කොළයේ නාරටි මත ඉතා ළා රතු පැහැයක් දක්නට ලැබෙන අතර කඳ මෝරා හොඳින් වැඩෙන විට ඒ පැහැය ක්‍රමයෙන් අඩු වේ.
අක්කාපාන ශාකයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඒවායේ කොළ වල දාරයෙන් නව අංකුර හට ගන්නා අතර පසුව ඒවා බිමට පතිත වීමෙන් නව පැලෑටි හට ගනි.

Akkapana Leaves
Akkapana Leaves

අක්කපාන (Akkapana) යනු බහු වාර්ෂික ශාකයක් වන අතර මීටර් 1 (අඟල් 39) පමණ උසකට වර්ධනය වේ. එහි මාංසමය සිලින්ඩරාකාර කඳක් ඇති අතර වසරේ වැඩි කාලයක් මල් දක්නට ලැබේ.
ඖෂධීය වටිනාකම් ගැන කතා කිරීමේදි අක්කපාන යනු සෞඛ්‍යයට ඉතා හිතකර ප්‍රතිලාභ ලබා දෙන ශාකයක්. දැන් අපි බලමු අක්කපාන ශාකයෙන් අපට ලබා ගන්න පුලුවන් ඖෂධීය ප්‍රතිලාභ පිළිබඳව. අක්කපාන ශාකයේ මල්, පත්‍ර, කඳ හා මුල් යන මේ හැම කොටසක්ම ආයුර්වේදයේදි ඖෂධයක් ලෙස බොහෝ රෝග සදහා භාවිතා කරයි.

අක්කපාන පත්‍ර වල රසායනික සංයුතිය ගැන කතා කිරීමේදි ඒවායේ සෞඛ්‍යයට හිතකර රසායනික සංයෝග බොහෝමයක් අන්තර්ගත වේ. Flavonoids, Triterpenoids, phenols, saponins, glycosides වැනි රසායනික සංයෝග ද මෙහි අඩංගු වේ.

අක්කපාන සෞඛ්‍යසම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීමට, ශරීර වේදනාවන් සමනයට, නිරෝගි සමක් උදෙසා, ආමාශ ආන්ත්‍රික රෝග වලට එරෙහිව හා මුඛ සෞඛ්‍යය ,පිළිකා හා මානසික යහපැවැත්ම සදහා උපකාරී වේ. දැන් අපි මේ එක එකක් ප්‍රතිලාභ පිළිබඳ විස්තරාත්මක සාකච්ඡා කරමු.

1. අක්කපාන(Akkapana) මුත්‍රා ගල් සදහා

අක්කපාන කියූ සැනින් බොහෝදෙනාට මතකයට එනුයේ මුත්‍රා ගල්‍ ය. මුත්‍රා ගල් ඉවත් කිරීම සදහා අක්කපාන ශාකය ඉතා ඈත කාලයේ සිට භාවිතා කරයි. අක්කපාන මුල් හා කොළ මෞත්‍ර ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව හට ගන්නා රෝග වලට හොඳ ප්‍රතිකාරයකි. මුත්‍රා ගල් සහිත පුද්ගලයන්ට අක්කපාන කොළ තැම්බූ වතුර පානයට ලබා දීම ඉතා ගුණදායකය.

අක්කපාන කොළ යුෂ වකුගඩු ගල් සුව කරන බව දැන් ඔබ දන්නා කරුණකි. එබැවින් වකුගඩු ගල් සඳහා අක්කපාන ඉතා ජනප්‍රිය ස්වභාවික විසඳුමක් ලෙස භාවිතා කරයි. මුත්‍රා ගල් වලට අමතරව පිත්තාශය ආශ්‍රිතව හට ගන්නා ගල් දිය කර හැරීමටද අක්කපාන භාවිතා කළ හැකිය.

2. අක්කපාන(Akkapana) පිළිකා සෛල විනාශ කිරීමට

අක්කපාන වල අන්තර්ගත රසායනික සංයෝග මඟින් පිළිකා සෛල විනාශ කර දමයි. පිළිකා රෝගින් සදහා පහසුවෙන්ම භාවිත කළ හැකි ස්වාභාවික ප්‍රතිකාරයක් ලෙස අක්කපාන හැදින්විය හැකිය.

3. රූපලාවණ්‍යය සදහා

අක්කපාන කොළවල යුෂය සමේ ඇති සිදුරු වසා දැමීමට, සමේ ඇති පැල්ලම් සහ හිරු රශ්මියෙන් ඇති වන පිලිස්සුම් සදහාද හොඳ ඖෂධයකි.
එසේම හිසකෙස් වැටීම අඩු කර ගැනීම සදහාද අක්කපාන වැදගත් වේ. අක්කාපාන වල ප්‍රති ක්ෂුද්‍රජීවී හැකියාවක් පවතින අතර එය කුරුලෑ සදහා කදිම ඔසුවක් වන බව පර්‍යේෂන මඟින් තහවුරු කර ඇත. එසේම ඒවායේ විටමින් C ද අඩංගු වන බව සොයාගෙන ඇත. මේ නිසා යහපත් සෞඛ්‍යයසම්පන්න රූ සපුවක් සදහා අක්කපාන ඉතා ආහාරයට ගැනීම ඉතා හොඳය.

4. ඇදුම වැනි රෝග වලට

අක්කපාන කොළ යුෂ මිනිස් පෙනහළු වල හට ගන්නා ඇදුම රෝගය සුව කිරීමට හොඳ ඔසුවක් ලෙස භාවිතා කර හැකිය. උණුසුම් අක්කපාන කොළ යුෂ මේ සදහා වෛද්‍යවරු නිර්දේශ කරයි.

5. තුවාල සුව කිරීම සදහා

කලින් කරන ලද පර්‍යේෂන වලට අනුව අක්කපාන වලට තුවාල සුව කිරීමේ හැකියාවක් ඇති බව සොයා ගෙන ඇත. අක්කපාන වල ඇති Quercetin නම් රසායනික සංයෝගය මේ සදහා දායක වේ. අක්කපාන පත්‍ර යුෂ තුවාල වලට යෙදීමෙන්  ඒවා ඉක්මනින් සුව වන බව ද සොයාගෙන ඇත.

Akkapana
Akkapana Paste

6. කොන්දේ වේදනා සමනයට

කොන්දේ සහ පිටුපස වේදනාවන්ට අක්කපාන කොළ තැම්බූ වතුර සහ තැම්බූ අක්කපාන කොළ කදිම ඔසුවකි. තැම්බූ අක්කපාන කොළ වේදනා ගෙන දෙන ස්ථානයන්හී ඇතිල්ලීම සිදු කිරීමෙන් වේදනාව අඩු වන බව සොයාගෙන ඇත. එසේම අලුත් දත් පැමිණීමේදි ඇතිවන වේදනාව අඩු කිරීමටද අක්කපාන කොළ වල ඇති රසායනික සංයුතියට හැකියාවක් පවති.

7. අක්මාව ආශ්‍රිත රෝගයන්ට

අක්මාව ආශ්‍රිතව හට ගන්නා රෝග සුව කිරීම සදහාද අක්කපාන කොළ ඖෂධයක් ලෙස භාවිතා කරයි. හිසදරයට විසඳුමක් ලෙසද අක්කපාන කොළ භාවිතා කරයි. හොඳින් අඹරා ගත් අක්කපාන කොළ හිසෙහි ගැල්වීමෙන් හිසරදය අඩු වන බව ආයුර්වේදයේදි කියයි.

මෙය ලෝකයේ සමහර ප්‍රදේශවල ස්වභාවික නිර්වින්දනයක් ලෙසද භාවිතා කරන අතර එහි අඩංගු රසායනික සංඝටක අධි රුධිර පීඩනය වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමට ද උපකාරී වේ.

8. නිවසේ දී සිදු වන සුලු කැඩුම්-බිඳුම් සදහා

එදිනෙදා ජීවිතයේදි වන සුලු කැඩුම්-බිඳුම් සදහා අත් බෙහෙතක් ලෙසද “අක්කපාන” යොදගත හැකිය. එහිදී අක්කපාන කොළ කොටා තලපයක් සේ සකසා අදාළ ස්ථාන වල ආලේප කිරිමෙන් වේදනාව අඩු වන බව සොයාගෙන ඇත.

අක්කපාන (Akkapana)ආහාරයට ගත හැකි විවිධ ආකාර

1. අක්කපාන (Akkapana)තේ පානයක් ලෙස

අව්වේ ස්වාභාවික වියලා ගත් අක්කපාන පත්‍ර කුඩු ලෙස සකස් කර තේ පානයක් ලෙස භාවිතා කර හැකිය. ඔබ පානයට ගන්නා තේ සදහා විකල්පයක් ලෙස ද සතියකට වරක් හෝ දෙවරක්  අක්කපාන තේ පානය සුදුසුය. කැෆේන් සදහා ප්‍රියතාවයක් නොදක්වන්නන් සදහාද මෙය කදිම විසඳුමකි.

කාර්‍යබහුල ජීවණ රටාවක් ගත කරන ඔබට මෙසේ සදාගත් අක්කපාන කුඩු ඉතා පහසුවෙන් භාවිතා කළ හැකිය. මේ වන විට වාණිජ වශයෙන් සකස් කළ අක්කපාන තේ වෙළඳපොලෙන් මිල දී ගත හැකිය.

2. අක්කපාන (Akkapana) කොළ සම්බෝලයක් ලෙස

මේ සදහා,
අමු අක්කපාන කොළ 10 ක් පමණ
අමු ලූණු
පොල්
අමු මිරිස්
ලුණු
දෙහි යුෂ
ගම්මිරිස් කුඩු අවශ්‍ය වේ.

හීනියට කපා ගත් අක්කපාන කොළ හා ඉහත දැක්වූ අනිකුත් ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කිරීමෙන් අක්කපාන කොළ සම්බෝලය පහසුවෙන් සදා ගත හැකිය. මෙසේ සාදාගත් සම්බෝලය බත් සමඟ පහසුවෙන් ආහාරයට ගත හැකිය.

අක්කපාන (Akkapana) සම්බෝලයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් අම්ල පිත්ත රෝගය වැනි රෝග බොහෝමයකට ගුණදායක වේ.
සියලු කරුණු සලකා බැලීමේදි අපි නොසිතන ප්‍රතිලාභ රැසක් අක්කපාන ශාකයෙන් අපට ලබා ගැනීමට හැකි බව පැහැදිලිය. නමුත් කාර්‍යබහුල ජීවණ රටාවක් ගත කරන බොහෝ දෙනා මේවා භාවිතායට කැමැත්තක් නොදක්වයි. නමුත් ඉතා විශාල පරාසයක ශරීරයට ගුණ දෙන ප්‍රතිලාභ අක්කපාන ශාකය අපට ලබා දෙයි. මේ නිසා පුලුවන් හැමවිටකම මෙවැනි ගුණ දෙන ශාකමය ආහාරයක් ඔබේ ආහාරයට එකතු කර ගැනීම ඉතා ගුණදායකය.

තොරතුරු මූලාශ්‍ර-

http://www.instituteofayurveda.org/plants/plants_detail.php?i=355

https://www.sciencedirect.com/science/article/pii/S0102695X18305040



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hello ????
Chat now via Whatsapp