Edit Content

Product Categories

අපේ ශරීරය තුල වකුගඩුවල ක්‍රියාකාරිත්වය කොයි වගේද ? 

වකුගඩු කියලා කියන්නේ අපේ ශරීරයේ පිහිටලා තියන, රුධිරය පෙරීමට ලක් කරලා එහි අනවශ්‍ය සංඝටක ශරීරයෙන් ඉවත් කරන අවයවයක්. වකුගඩු යුගලය මුත්‍රා නාල මුත්‍රාශය සහ මුත්‍රාශ විවරය විදියට අපේ ශරීරය මෞත්‍ර ලිංගික පද්ධතිය නිර්මාණය වෙනවා. සාමාන්‍යයෙන් වකුගඩුවලින් රුධිරය පෙරීමට ලක්කරද්දි මේ වකුගඩු නිර්මාණය වෙලා තියෙන ගුච්චිකා සෛල මිලියන ගණනක් ඒ දේට  දායක වීමක්  සිදුවෙනවා.මේ ගුච්ඡිකා මගින් තමයි රුධිරය  පෙරීමට ලක් කරලා එහි තියන අයන වර්ග, ලවණ ආදිය ශරීරයට අවශෝෂණය කරගෙන අනවශ්‍ය සංඝටක සහ  මුත්‍රා එකතුවක් විදිහට ශරීරයෙන් බැහැර කිරීම සිදු කරන්නේ. 

වකුගඩු වල ගල් (Kidney Stones)ඇතිවෙන්නෙ ඇයි?

නිරෝගී වකුගඩු යුගලයක් කියන්නේ හැම පුද්ගලයෙකුටම ගොඩක් වටිනා අංගයක්. නමුත් මේ වකුගඩු වල බොහොම බහුලව ඇතිවන රෝග තත්ත්වයක් තමයි kidney stones එහෙමත් නැත්නම් වකුගඩු ගල් කියලා කියන්නෙ.

සරලව කිව්වොත් වකුගඩු ගලක් කියලා කියන්නේ මුත්‍රා වල තියෙන රසායනික ද්‍රව්‍ය එකට එකතු වෙලා හැදෙන තරමක් තද ව්‍යුහයක්. සාමාන්‍යයෙන් මේ විදිහට හැදෙන වකුගඩු ගලක කැල්සියම් ඔක්සලේට්, යූරික් අම්ලය , සිස්ටීන්, පොස්පේට් වගේ රසායනික ද්‍රව්‍ය  අන්තර්ගත වෙන්න පුළුවන්. 

මේ වකුගඩු ගල්වල සංයුතිය අනුව එයට ප්‍රතිකාර කිරීමේ ක්‍රම පවා වෙනස් වීමක් සිදු වෙනවා.

මේ විදියට වකුගඩු ගල් (Kidney Stones) ඇතිවෙන්නේ ඇයි?

ගොඩක් වෙලාවට වකුගඩු ගලක් නිර්මාණය වෙන්නේ යම්කිසි කෙනෙක් පානය කරන ජල ප්‍රමාණය ඉතාමත් අවම වීමත් එක්ක. ඔබේ මුත්‍රාවල ඕනතරම් අපද්‍රව්‍ය එකතු වෙලා තියෙනවා. මේ අපද්‍රව්‍ය  දිය වෙන්න අවශ්‍ය තරම් දියර ප්‍රමාණය අඩු උනහම මේවා එකට එකතු වෙලා මෙවැනි  දේ නිර්මාණය වෙනවා.  ගොඩක් වෙලාවට මේවා නිර්මාණය වෙන්නේ වකුගඩු තුළමයි. ඉතින් මේ විදිහට දිගින් දිගටම ශරීරගත දියර ප්‍රමාණය අඩු උනොතින් මේ වකුගඩු ගල්වල තවත් අපද්‍රව්‍ය එකතු වෙලා විශාල වීමකුත් සිදුවෙනවා. කුඩා ප්‍රමාණයේ ගල් මුත්‍රා සමග මුත්‍රා මාර්ගය ඔස්සේ බැහැරවීමක් සිදු විය හැකි වුණත් ප්‍රමාණයෙන් විශාල වෙනකොට මේවා බැහැර කිරීම අපහසු කාර්යයක් වෙනවා.  ඒ වගේම වකුගඩු වල ගල් නිර්මාණය උනායින් පස්සෙ  ඒ බව ඔබට පෙන්නුම් කරන විවිධාකාර ලක්ෂණ තියෙනවා.

වකුගඩු ගල් (Kidney Stones) ඇතිබව කියවෙන ලක්ෂණ මොනවාද?

වකුගඩු ගල් පිහිටන ස්ථානය හා අදාලව පිටුපස කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන වේදනා තත්වයන් , උදරයේ ඇතිවන පහව නොයන්නා වූ වේදනා තත්ව ,මුත්‍රා සමග රුධිරය පිටවීම, ඔක්කාරය සහ වමනය , උණ හට ගැනීම සහ මුත්‍රා වල පෙණ සහිත ස්වභාවය හෝ මුත්‍රා පිටකරන විට ඇතිවන වේදනා තත්ව ඔබට අත්දකින්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම වකුගඩු වල සෑදෙන ගල්වල ස්වභාවය අනුව මේවා මුත්‍රා මාර්ගය ඔස්සේ පිටවෙනකොට වේදනාව දැනීම සිදුවෙනවා.විශේෂයෙන් ක්‍රිස්ටල් හැඩයෙන් සෑදෙන කටු සහිත මතුපිටක් ඇති ගල් අර්ධව දියවී ඉවත්වන විට රෝගියාට ඉතා විශාල වේදනාවක් දැනීම සිදුවෙන්න පුළුවන්. සමහර වකුගඩු ගල් නිර්මාණය වෙන්නෙ ඉතාම කුඩා වැලි කැට ආකාරයෙන්.මේ වගේ සෑදෙන ඒවත් ජලයේ දියවීම මගින් ඉතා ඉක්මනින්ම ඉවත්වීම සිදුවෙනවා.

මේ විදියට වකුගඩු  ගල් (Kidney Stones) නිර්මාණය වෙන්න හේතු මොනවද ?

වකුගඩු ගලක් නිර්මාණය (Kidney Stones) වීමේදි පලමුවෙනි ප්‍රධානම හේතුව වෙන්නෙ ඔබ අවශ්‍ය පමණට ජලය පානය නොකිරීම කියන එක. මීට අමතරව ජලය පානය අඩුවෙන් කරන අතර අධිකව කය වෙහෙසවා ව්‍යායාම කිරීම, තරබාරු බව ,කෘශ බව ආදියත් මීට වක්‍රාකාරව හේතුවෙනවා. ලිපියේ ඉහතදි සදහන් කලා වගේම කැල්සියම් ඔක්සලේට් නිසා සෑදෙන ගල් සෑදීමට විශාල හේතුවක් වෙන්නෙ අඩුවෙන් ජලය පානය කිරීම,  ඒ වගේම යූරික් අම්ලය නිසා සෑදෙන වකුගඩු වල ගල් නිර්මාණය වෙන්න හේතුවෙන්නෙ  ඔබ purine සංඝටක වැඩි ආහාර වැඩිපුර   භාවිතා කිරීම එක්කයි. එවිට ඔබේ ශරීරයේ uric acid මට්ටම ඉහළ ගිහිල්ලා යූරික් අම්ල ඝන කැටිති නිර්මාණය වීමේ , එහෙමත් නැත්තම් යූරික් ඇසිඩ් ක්‍රිස්ටල්ස් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් මේවා අස්ථි ආශ්‍රිතවත් නිර්මාණය වීමේ ප්‍රවණතාවය ඉහලයි. ඒවගේම වකුගඩු ආශ්‍රිතවත් මේවා නිර්මාණය වීම සිදුවෙනවා.

සාමාන්‍යයෙන් රතු මස්, සත්ව අක්මාව, මුහුදු ආහාර, බියර් වැනි මධ්‍යසාර නිෂ්පාදන ආදියේ පියුරීන් අන්තර්ගත වෙනවා. ඉතින් ඒ නිසා මේ ආහාර පාන වැඩිපුර භාවිතා කිරීම එක්ක පියුරීන් ඔබේ ශරීරයට ඇතුලු වෙලා බිදවැටීම එක්ක ඔබේ ශරීරයේ යූරික් අම්ල මට්ටම ඉහල යාම සිදුවෙනවා.

මේ ආකාර වලින් සිදුවෙන වකුගඩු ගල් (Kidney Stones) නිර්මාණය වීම වලක්වාගන්න තියෙන ස්වාභාවික ප්‍රතිකාර මොනවද ?

පලවෙනි ප්‍රධානම දේ තමයි අනිවාර්යයෙන්ම අවශ්‍ය පමණට ජලය පානය කිරීම සිදුකරන්න ඕන. ඒ වගේම ජල පිපාසය තියෙන අවස්ථාවලදි නිෂ්පාදිත බීම වර්ග කෝලා වර්ග ආදිය කිසිසේත්ම භාවිතා කරන්න එපා. ඔබට නිතරම මුත්‍රා දැවිල්ල පිපාසය වගේ තත්ව ඇතිවෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම  ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ වගෙ අවස්ථාවලට මින් පෙරත් මුහුණ පාලා තියෙනවා නම් ඖෂධීය පාන වර්ග සහ ආහාර වර්ග ඔබේ එදිනෙදා දින චර්‍යාවට එකතුකරගන්න. මේ විදියට එකතුකරගන්න පුළුවන් හොඳම දේශීය ඖෂධ වර්ග මොනවද කියලා මීලගට බලමු.

1. පොල් පලා ශාකය 

පොල්පලාවල  සංස්කෘත නාමය තමයි අශ්මරීභේදන කියලා කියන්නෙ. අශ්මරී කියන නමින් හදුන්වන්නෙ ගල් කියන එක. ඉතින් ඔබේ එදිනෙදා ජීවිතයෙදි සතියකට වාර දෙකක් පමණ පොල්පලා තැම්බුමක් පානය කරන එකෙන්   මේ වකුගඩු ගල් ඇතිවීම පාලනය කරගන්න පුළුවන්.

2. අක්කපාන

අක්කපාන කියන්නෙත් මුත්‍රා මාර්ගය ආශ්‍රිත ව තියෙන හැම රෝගී තත්වයකදිම වගේ භාවිතා කරන්න පුළුවන් ඖෂධීය ශාකයක්..අක්කපාන වලට පුළුවන්කම තියෙනවා මුත්‍රා මාර්ගයේ හැදෙන ගල් කැඩීමට ලක්කරලා ශරීරයෙන් ඉවත්කරලා දාන්න. මේ නිසාම පාෂාණ භේද කියන නමින් අක්කපාන ශාකය හදුන්වනවා. අක්කපාන කොල තැම්බුමක් විදියට වගේම කොල සලාදයත් සතියකට වාර දෙකක් වගේ කෑමට ගන්න ඔබට පුළුවන්.

3. නීරමුල්ලිය

නීරමුල්ලිය කියන්නෙත් වකුගඩු පිරිසිදුකරන හොඳම ආහාර වලින් එකක්. අපි කලින් සදහන් කලා වගේ වකුගඩු වල අපද්‍රව්‍ය එකතුවීම මේ තත්වය ඇතිවෙන්න විශාල හේතුවක්වෙනවා. නීරමුල්ලිය කෑමට ගන්නවා නම් එමගින් වකුගඩු පිරිසිදු කරලා එහි ක්‍රියාකාරිත්වය පවා වැඩිදියුණු කරන්න සුවිශේෂී හැකියාවක් එයට තියෙනවා.

4. ඉගිනි ඇට

ඉගිනි ඇට කියන්නෙ අතීතයේ දි අපේ රටේ ජලය පිරිසිදු කරන්න යොදාගත්ත වටිනා බීජ වර්ගයක්. ඉංග්‍රීසි භාෂාවෙන් clearing nut කියන නමෙන් මෙය හඳුන්වන්න හේතුවත් මේ විදියට ජලය බීමට සුදුසු ලෙස පිරිසිදු කරන්න ඉගිනිවලට තියෙන සුවිශේෂී හැකියාව. ඉතින් ජලය පිරිසිදු කරන වගේම රුධිරය පිරිසිදු කරන්නත් එහි තියන අනවශ්‍ය සංගටක ඉවත් කරන්නත් ඉඟිනි වලට සුවිශේෂී හැකියාවක් තියෙනවා. මේ නිසා වකුගඩු වල ගල් (Kidney Stones)ඇතිවීම වළක්වන්න ඉඟිනි ඇට කබලේ බැදගෙන  කුඩුකර සකස්කර ගත් පානය කෝපි මෙන් වත් කරලා එදිනෙදා භාවිතයට ගැනීම සිදුකරන්න ඔබට හැකියාව තියෙනවා. 

5. ඉරමුසු

ඉරමුසු කියන්නෙත් සිසිල් බවින් යුක්ත දේශීය වෛද්‍ය ක්‍රමය ඇතුලෙ බොහොම බහුලව භාවිතා කරන ශාකයක්. මේ ශාකය මගිනුත් කරන්නෙ මුත්‍රා ගල් ඇතුලු රුධිරයේ ඇතිවන ගැටලු හේතුවෙන් ඇතිවිය හැකි ලෙඩ රෝගවලින් ඔබව ආරක්ෂා කරන එක. රුධිරයේ අධික ආම්ලික ස්වභාවය වගෙ  වකුගඩු ගල් (Kidney Stones)ඇතිවීමට කෙලින්ම බලපාන දේවල් ඉවත්කරන්න ඉරමුසු වලට පුළුවන්. ඉරමුසු ශාකයේ කොල මල් දඩු සහ මුල් තැම්බූ ජලය තේ වෙනුවට පානය කරන්න පුළුවන් නම් ඔබට බොහොමයක් රෝග වලින් ආරක්ෂා වෙන්න හැකියාව ලැබේවි.

ඉතින් මේ සදහන් කරපු ඖෂධීය ශාකවලට අමතරව කැකිරි, පිපිඤ්ඤා , පුහුල්, රාබු නෝකෝල් වගේ කෑම වර්ගත් කොමඩු වගේ පලතුරුත් ඔබේ ආහාර වේලට අනිවාර්යයෙන්ම එකතුකරගෙන වකුගඩු ගල් (Kidney Stones) ඇතිවීමෙන් සුරක්ෂිත වෙන්න කියලා ඔබට මේ ලිපිය අවසානයෙදි මතක් කරනවා.

Source: https://en.wikipedia.org/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hello ????
Chat now via Whatsapp